Friday, November 10, 2017

Infotel 2017 සමග එක් වූ භාෂා හෙළකුරු අත්දැකීම...


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා පැරණිතම තොරතුරු තාක්ෂණ මංගල්‍යය වන ඉන්ෆොටෙල් තාක්ෂණික ප්‍රදර්ශනය මෙවරත් සුවිසල් ජනතා සහභාගිත්වයක් සහිතව පසුගියදා නිමාවට පත්විය. නොවැම්බර් මස 02 වැනිදා සිට 05 වැනිදා දක්වා, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී මෙය පැවැත්වුනු අතර, 1992 සිට නොකඩවා සංවිධානය කරනු ලබන Infotel  ප්‍රදර්ශනය මෙවර පැවැත්වුනේ 25 වැනි වරටයි. අප භාෂා ආයතනය සුපුරුදු පරිදි මෙවරත් Infotel හා සම්බන්ධ වුනේ නිළ ජංගම තාක්ෂණ සහකරු ලෙසයි.



ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මහජනතාවගේ පහසුව තකා Infotel 2017 පිළිබඳ තොරතුරු ඇතුලත් ජංගම දුරකථන යෙදුමක් ද අප විසින් නිකුත් කරනු ලැබුවා.



මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ සමාගම් මෙන්ම නැගී එන සමාගම් (Startup) රාශියක් මෙවරද Infotel ප්‍රදර්ශණය හා සම්බන්ධ වී සිටියා. එ් අතරින් සුවිශේෂී වූ අවධානයක් දිනා ගන්නට භාෂා හෙළකුරු ප්‍රදර්ශන කුටිය සමත් වුනා. සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ B ශාලාවේ පිහිටා තිබුණු ප්‍රදර්ශන කුටි අතරින් SLT Mobitel ප්‍රදර්ශන කුටිය හා හෙළකුරු ප්‍රදර්ශන කුටිය වැඩිම ජනතා ආකර්ශණයක් දිනා ඇති බව දක්නට තිබුණා.



Infotel 2017 ප්‍රදර්ශනයේ දී භාෂා අපේ ප්‍රදර්ශන කුටිය වෙන්කර තිබුනේ මිලියන තුනක් වූ අපේ පරිශීලකයින් වෙනුවෙන්මයි. සුවිශේෂී නිමාවකින් හා සැලසුමකින් යුතුව ඉදිකර තිබුණු දැවැන්ත පීඨිකාව බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුනා. බොහෝ හෙළකුරු පරිශීලකයින් ඒ පීඨිකාව මතට නැගී සමරු ඡායාරූප ගන්නා ආකාරය අපට බොහෝ ආඩම්බරයට කාරණාවක් වුනේ, හෙළකුරු යන නිපැයුම සන්නාමයක් ලෙසින් ශ්‍රී ලාංකීය ජන සමාජයට කෙතරම් බලපෑමක් කර ඇත්දැයි යන කාරණය ඇස් පනාපිටම දකින්නට ලැබුණු නිසායි.



පෙර වසර වලදී මෙන්ම, මෙවර Infotel උළෙලෙහි දීත් අපි විශේෂයෙන් අවධානය යොමු කළේ හෙළකුරු ඇතුළු භාෂා නිපැයුම් භාවිතා කරන පරිශීලකයන් හා සජීවීව සම්බන්ධ වීමට ලැබෙන අවස්ථාව කෙරෙහියි. එය භාෂා අපට බොහෝ වැදගත් වන අතර, Infotel 2017 පැවැති දින හතර පුරාවටම පරිශීලකයින් බොහෝ දෙනෙක් අප භාෂා කණ්ඩායම හමුවී අදහස් හුවමාරු කර ගනු ලැබුවා.



Infotel භාෂා හෙළකුරු කුටියේ වැඩිම ජන සහභාගිත්වයක් පැවතුනේ "අකුරු කෙළිය" නමින් අප පැවැත්වූ ඉසව්ව වෙතයි. හෙළකුරු ත්‍රෛමිලියන සම්ප්‍රාප්තිය වෙනුවෙන් භාෂා ලංකා සමාගමෙන් ඔබට පිරිනැමුණු තිළිණය වන අකුරු කෙළිය නම් වූ දුරකථන ක්‍රීඩාවේ වැඩි දියුණු කළ ආකාරයක් ලෙසින් Infotel අකුරු කෙළිය ඉසව්ව ඉදිරිපත් කරන්නට යෙදුණා. හෙළකුරු යතුරු පුවරුවෙන් සිංහල අකුරු ටයිප් කිරීමෙන් සිදුකළ යුතු ක්‍රීඩාවක් වූ මෙය ද්වන්ද සංග්‍රාමයක් හෙවත් දෙදෙනක් අතර සිදුවන තරඟයක් ලෙසින් පැවැත්වුනා. මේ සඳහා සහභාගි වූ අයට හෙළකුරු ස්ටිකර් හා මග් ලබාදීම ද හෙළකුරු ප්‍රදර්ශන කුටියේදී සිදු කෙරිණා.






හෙළකුරු ප්‍රදර්ශන කුටිය වෙත Infotel ප්‍රදර්ශණය නැරඹීමට පැමිණි සෑම සියළු දෙනාම පාහේ සහභාගි වනු දක්නට ලැබුණා. ඉතා කුඩා දරුවන් මෙන්ම තලතුනා වැඩිහිටියන් දක්වා සියළුම වයස් කාණ්ඩවල අය මේ සඳහා සහභාගී වීම ඉතා හොඳ ප්‍රවනතාවයක් වන්නේ සිංහල භාෂා අන්තර්ගතයන් කෙරෙහි ඇති ආකර්ශණය වැඩි දියුණු කරලීමට හෙළකුරු පුරෝගාමී වීම නිසායි. පොදු ජන සමාජයට වැදගත් වන අත්‍යාවශ්‍ය සේවාවක් සපයන නිපැයුමක් ලෙසින් හෙළකුරු නිරන්තරයෙන්ම පරිශීලක ඔබගේ අදහස් වලට කන් දීමට සූදානම්. අප හමුවී හෙළකුරු ගැන තම සිත් හි ඇති අදහස් අප හා බෙදා හදා ගත් ඔබ සැමට ස්තුතියි...!

... ෴ ෴ ෴ ...

No comments:

Post a Comment